Thursday, 31 August 2023


      අධ්‍යාපනය යනු කරුණු  ඉගෙනීම පමණක් නොව සිතීමට මනස පුහුණු කිරීමකි






අධ්‍යාපනය යනු මාර්ගයක් මිස ඉලක්කයක් නොවේ. අධ්‍යාපනය නැමැති සංකල්පයට දිගු ඉතිහාසයක් පවතී. අධ්‍යාපනය නිශ්චිත අදහසක් ලබා දිය නොහැකි සංකල්පයකි. අතීත ක්‍රියාකාරකම් හා තත්කාලීන සමාජය විසින් උකහා ගත් දැනුම හා අත්දැකීම් ඊළඟ පරම්පරාවට පවරාදීම අධ්‍යාපනය ලෙස සරලව දැක්විය හැක.අධ්‍යාපනය යනු දැනුම අවබෝධය හා රැකියා වෙළදපොල ඉලක්ක කරගනිමින් ගොඩනැගෙන්නකි.ලෙනින්ට අනුව අධ්‍යාපනය යනු ඉගෙන ගැනීම තේරුම් ගැනීමට පමණක් නොව වෙනස් කිරීම සඳහා ඉගෙන ගැනීම ලෙස දැක්විය හැක. සමස්තයක් වශයෙන් අධ්‍යාපනය යන්න සැවොම දකින ලබනුයේ ඉගෙන ගැනීමක් ලෙසටය. සමාජයක ලෝකයක ප්‍රගමනයට අධ්‍යාපනය අවශ්‍ය වේ. අධ්‍යාපනය මගින් මිනිසකු බිහි නොවන අතර එය ඔවුන් විසින්ම ගොඩනංවාගත යුත්තකි.  එලෙස සිදු වනුයේ අධ්‍යාපන කරුණු ඉගෙන ගැනීමට පමණක් නොව පුද්ගලයාට සිතීමට මනස පුහුණු කරනු ලබන උපකරණයක් වන නිසාවෙනි.බොහෝදෙනෙක් අධ්‍යාපනය නැමැති සංකල්පය විෂය කරුණු පමණක් යැයි සිතති. එය ලංකාවට පමණක් නොව සමස්ත ලෝකයටම පොදු වූවකි. බොහෝදෙනෙකු පෙළ පොතේ සටහන්,පන්තියේ හා පාසලේ උගන්වන විෂය කරුණු අධ්‍යාපනය බවට පිළිගනී.නමුත් වත්මනේ බොහෝ බටහිර රටවල් විෂය කරුණුවලට අමතරව බාහිර දේවල් අධ්‍යාපනය වෙනුවෙන්  එකතු කර ඇති බවක් දක්නට ලැබේ. 

අධ්‍යාපනය නැමැති සංකල්පය විෂය කරුණු වලට පමණක් පදනමනම් වන ලෙස විමසුවහොත් එහි පවතින වැරදි අඩුපාඩුකම් අධ්‍යාපනයෙහි පවතින හිඩැස් අපට සොයා ගත හැකි වන්නේ අධ්‍යාපනය මගින්  බිහි කරනු ලබන පුද්ගලයා  තුළිනි. සමාජයක සම්මත වූ අධ්‍යාපන ක්‍රමය තුළ ඔහු හෝ ඇය ලද අධ්‍යාපනය මගින් ඔවුනට ලැබුණු  සමාජ තත්තවයන් ඔහුට හෝ ඇයට  ලැබුණු හිමිවීම් සහ අහිමිවීමි මොනවාද එලෙසම ඔහු හෝ ඇය අද  සිටිනු ලබන ස්ථානය කුමක්ද අධ්‍යාපනය හේතුවෙන් අද වන විට බිහිවී ඇත්තේ කුමන ආකාරයක පුද්ගලයෙක් ද කුමන ආකාරයක මනුස්සයෙක් ද යන ගැටලු මුල්කරගනිමින් රටක අධ්‍යාපනක්‍රමයේ සාර්ථක අසාර්ථකභාවය මනිනු ලබයි. එමෙන්ම සාම්ප්‍රදායික අධ්‍යාපනය පුද්ගලයාව හුරු කර ඇත්තේ පොතෙහි පවතින කරුණුවලට පමණි.නමුත් අධ්‍යාපන සංකල්පය විෂය මාලාවන් තුළ පවතින විෂය පථයට පමණක් සීමා වී නොමැත. ඉන් ඔබ්බට ගොස් මිනිස්සුන්ට සිතන්නට හැකි මනසක් ගොඩනඟනු ලබයි.සිතීමේ හැකියාව කෙනෙකු තුළ  ගොඩනංවා ගතහැකි වන්නේ යම් දෙයක් තුළ පවතින්නාවූ කරුණු වලට පමණක් සීමා නොවී ඉන් ඔබ්බට ගොස් ගැඹුරු මනසකින් යුතුව නැවත නැවත ඒ පිළිබඳ ව සිතීමෙනි. ඒ අනුව අධ්‍යාපනය යන්න එක් පැත්තකින් ඉගෙන ගැනීමක් සේම මිනිසාට යමක් පිළිබඳව සිතීමට ද මනස හුරු කරවීමක් ලෙස හඳුන්වාදිය හැකිය.බොහෝදුරට වත්මනේ ළමයකු තුළ සිතීමේ හැකියාව සීමා වී ඇත්තේ ගුරුවරයෙකු ඉගැන්වීමක් සිදු කරන විට එය හොඳින් ශ්‍රවණය කර ගනිමින් ශ්‍රවණය කළ කරුණු පොතෙහි සටහන් කරමින් එම කරුණම විභාගයට භාවිතා කර ප්‍රතිඵල ලබා ගැනීම තුළය.නමුත් එහිදී දරුවා ස්වයංඅධ්‍යනයක් සිදුකර නොමැත.නිදසුනක් ලෙස ලෙස ගණිතය විෂය ගතහොත් එම  විෂය ගුරුවරයා උගන්වන ලබන ශිල්පයට වඩා එහාට ගොස් දරුවා විසින් ගණිත ගැටළු පිළිබඳව තම මනස යොමුකරවීමෙන් මනස මෙහෙයවීමෙන් චින්තන හැකියාව වැඩිදියුණු කරගත යුතුය.එවන් අවස්ථාවකදී ස්වයංඅධ්‍යනය, සිතීමේ හැකියාව ඉතාමත් ම වැදගත් වේ.

එලෙස සිතීමේ හැකියාව වැඩිදියුණු කරගත් දරුවෙකුට ගණිත විෂය සඳහා යහපත් වූ ප්‍රතිඵල ලබාගත හැකි වන්නේ විෂය කරුණු ඉගෙන ගැනීම නිසාම පමණක් නොව සිතීමට තම මනස හුරු කරවා ගැනීම නිසාවෙනි. බොහෝදුරට ගුරුවරයා විසින් දරුවන් සිතීමකට හුරු  කර කරලිය යුතුය.තවද ගුරුවරයාගේ විෂය කරුණු වලට අමතරව දරුවන්ගේ මනස සිතීමට හුරුකරවීම ගුරුවරයාගේ වගකීමකි.ගුරුවරයා විසින් මූලිකත්වය ගෙන අදධ්‍යාපනික කරුණු ඉගැන්වීම මෙන්ම ඒ ඒ විෂයෙහි පවතින කරුණු සිදුවන්නේ කොහොමද අනෙකුත් කරුණුවලින් වෙනස් වෙන්නේ කොහොමද එලෙස වෙනස් වීමට හේතුව කුමක්ද යන්නට දරුවා තුළ සිතීමේ හැකියාව ගොඩනැංවිය යුතුය.එහිදී ගුරුවරයා උගන්වන තැනැත්තා සේම දරුවා ඉගෙන ගන්නා තැනැත්තා  වේ.  එනිසා ගුරුවරයාගේ වගකීම වන්නේ ඉගැන්වීමට අමතරව දරුවන් තුළ ආකල්පමය වශයෙන් හා මානසිකමය වශයෙනුත් දරුවන් ඒඒ විෂය කරුණුවලට නැවත නැවත සිතීමට හුරුකරලීම හා දරුවන් චින්තනමය ශක්තියෙනුත් ඉදිරියට රැගෙන යාමකි.  

 විභාග අවස්ථාවක් ගතහොත් ඒවායේ පවතිනුයේ ගිරා පෝතකයක් වැනි අවස්ථාවකි.  වත්මනේ එය බහුලව දක්නට ලැබේ. විභාගයක් ආසන්න වන විට දරුවන්  ඉගෙන ගෙන  තිබෙන විෂය කරුණු වලට පමණක් සීමා වී විභාගයට සූදානම් වේ. එම කරුණු ම පමණක් භාවිතා කරමින් ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සපයයි. නැවත ආපසු හැරී බැලුවොත් එවන් වූ දරුවන් තුළ විෂය කරුණු පමණක් පැවතීමත් විෂය පිළිබඳ සිතීමේ හැකියාව වර්ධනය වී නොමැත. කෙටියෙන් කිවහොත් එවන් දරුවෙකුගෙන් විෂය කරුණු වලට එහා ගැඹුරින් දෙයක් කවරකු විසින් හෝ ඇසුවොත් දරුවන්ට පිළිතුරු ලබා දිය නොහැකි වන්නේ ඔවුන් විෂය කරුණුවලට පමණක් සීමා වී සිටීමත් සිතන්නට තම මනස හුරුවී නොමැති නිසාවෙනි. එනිසා ඔවුන්ට පිළිතුරු දීමේ හැකියාවක් නොමැත. එබැවින්  අධ්‍යාපන ක්‍රමය තුළ ඉගෙනගැනීමට පමණක් නොව සිතීමට ද  මනස හුරුකරලන අධ්‍යාපන ක්‍රමයක් වුවහොත් නිපුණතාවයකින් පිරිපුන්දරුවකු බිහි වනු නොවනුමානය. එනිසා ගුරුවරයාගේ පමණක් නොව ශිල්ප ඉගෙනගන්නා දරුවාගේද වගකීම වන්නේ ඉගෙන ගැනීමට පමණක් සීමා නොවී තමන් ඉගෙන ගත් විෂය කරුණු පිළිබඳව නැවත නැවත අලුතින්  සිතමින් අලුත් අත්හදාබැලීම් සිදු කරමින්  අධ්‍යාපනික කටයුතු වලදී තම මනස සිතීමකට හුරු කරවා ගැනීමය.ඒ අනුව අධ්‍යාපනය යන්න කරුණු ඉගෙන ගැනීම පමණක්ම නොව සිතාමතා කටයුතු කළයුතු ක්ෂේත්‍රයකි.සිංහල භාෂාව ගත්හොත් එය විෂය පතයට වඩා ප්‍රායෝගික ජීවිතයේ ව්‍යාප්ත වී ඇත. හේතුව විෂය තුළ පවතින දේවල්වලින් පමණක් අප භාෂාවක් ඉගෙන ගතහොත් එය වැඩිදියුණු කරගත නොහැක.එය සුදුසු අවස්ථාවන්හි දී ප්‍රායෝගිකව භාවිතා කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලබාගත හැක. නමුත් සිංහල භාෂාව අපගේ ප්‍රධාන භාෂාව වන නිසාවෙන් එය එතරම් අපහසු නොවන්නේය
.

පුද්ගලයකු යම් විෂයකට දුර්වල නම් එම අදක්ෂ විෂය තවදුරටත්  විෂයක් ලෙස නොව දක්ෂතම විෂයක් බවට පත් කරගත් හැකි වන්නේ සිතීම තුළින් තම මනස අදක්ෂ විෂය කෙරෙහි යොමුකරවා ගැනීමෙනි.  උදාහරණයක් වශයෙන් ගතහොත් ඉංග්‍රීසි භාෂාවට බොහෝ අදක්ෂ කෙනෙකු කෙටි කාල සීමාවක් තුලදී එම භාෂාවට දක්ෂතාවක් දක්වන්නේ නම් එයට හේතුව එම පුද්ගලයා ඉංග්‍රීසි භාෂාව පවතින පොතපත නිතර පරිශීලනය කරමින් ගුරුවරයා උගන්වන කරුණුවලට පමණක් සීමා නොවී නිතර ඉංග්‍රීසි භාෂාව හසුරුවමින් සුදුසු  අවස්ථාවන්වලදී භාවිතා කරලීමයි. මෙම උදාහරණය තුළින් ගම්‍යමාන වන්නේ  අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ යහපත් වූ ප්‍රතිඵල විෂය කරුණු වලට පමණක් අවධානය යොමු කරවීමෙන් ලබාගත් ගත නොහැකි බවයි. එවිට  අධ්‍යාපනය යන්න සරලව දැක්වුවහොත් අධ්‍යාපනය යනු විෂය කරුණුම පමණක් නොව චින්තනය සමඟ බද්ධවී පවතින්නාවූ සංකල්පයකි.චින්තනමය හැකියාව තිබිය යුත්තේ දරුවා තුළය.කිසිදු විටකදී ගුරුවරයාට දරුවා වෙනුවෙන්  සිතිය  සිටිය නොහැක. එනිසා චින්තනමය හැකියාව දරුවා විසින්ම ඉගෙන ගත යුතු දෙයක් වන අතර  දරුවාට කුඩා අවධියේ සිටම කුඩා  කුඩා දේවල් පිළිබඳව සිතන්නට පුරුදු කළ යුතුය. එලෙස පුරුදු වූ දරුවෙකුට ජීවිතයේ පැමිණෙන ඕනෑම ගැටලුවකට මුහුණ දීමේ හැකියාව පවතී. එවිට දරුවාගේ භූමිකාව වන්නේ ගුරුවරයා උගන්වන දේට පමණක් සීමා නොවී සෑම පැත්තකින්ම සිතීමට තම මනස හුරු කරවා ගැනීමය. ගුරුවරයා සහ දරුවා යන පාර්ශවයනුත්, අධ්‍යාපනික කරුණුත් ඒ හා සමගාමී වන චින්තන හැකියාවන් ආදියත් සමබර ලෙස ලබාදීම හා  ලබා ගැනීම තුළින් දැනුමෙන් ආකල්පවලින් පිරිපුන් දරුවකු සමාජයට දායාද කළ හැකිය.ඕනෑම සමාජයක වෙසෙන පුද්ගලයන්ට අධ්‍යාපන කරුණු හා චින්තනමය හැකියාවන් වැඩිදියුණු කර ගැනීම තුළින් සෑම අතින්ම පෝෂණය වූ පුද්ගලයකු තමන් තුළින්ම බිහි කරවා ගත හැකිය.එනිසා අධ්‍යාපනය යනු කරුණු මතම නොරැඳෙන බවත් සිතීමේ හැකියාව වැඩිදියුණු කරනු ලබන ක්ෂේත්‍රයක් බව කිව යුතුය.  




 

 

  සෙනෙහසේ පියා ඉරි තැලි වියළි වූ පොළොව  නිවන දහදිය නුඹයි තාත්තේ ඇතුලේ ගිනිදැල් දැවෙන හද තුළ පුතුගේ මුවගේ සිනහා නුඹයි තාත්තේ වේද මල් පෙති සින...